ඕනිම කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් ලගාවෙන්න පුළුවන් තැන ටිකක් තමයි කඩුගන්නාව නගරය කියන්නේ.අද මම කියන්නේ මේ කඩුගන්නාව නගරය අවට ඔයාලට බලාගන්න පුළුවන්. දවසක් ඇතුලත යන්න පුළුවන් නියම තැන ටිකක් ගැන.වෙනදා වගේම කොල්ලෝ ටික ඔන්න ඇවිදින්න යන්න එකතු උනා.අපේ අවාසනාවට යන්න හිටපු පැත්තට හොදටම වහින හින්දා වැඩේ අතඇරලා දාලා අපි ලග පාත යන්න තියන බලන්න තියන තැන ටිකකට යන්න සුදානම් උනා..
කොහොමෙන් කොහොමෙන් හරි අපි යන්න තීරණය කරගත්තේ මෙන්න මේ තැන හතරට.හුග දෙනෙක් හිටියෙත් නෑනේ (පානි,මම,අබේ,බට්ටා,පුරෝ හිටියේ ඕක යන්න )
1.බලන කොටුව
2.ඩෝසන් කුලුන
3.බැලුම්ගල
4.මුණ්ඩගිරිය
බලන කොටුව
හාවෙන් හුවෙන් අපි ගමන පටන්ගත්තා .අපේ පලවෙනි ඉලක්කය උනේ බලන කොටුව බලාගන්න එක.ඉතින් අපි කඩුගන්නාව බස් හෝල්ට් එකෙන් බලන යන බස් එකට නැගගත්තා.විනාඩි 40ක් විතර ගමන් කාලයක් ගෙවලා අපි ආව හතර කොරලේට/දැන් යටිනුවරට අයිති "බලන කොටුව" තියන තැනට.
බලන කොටුවේ ඉතිහාසය ගැන කියනවනම් දැන් තියන කොටුව පෘතිගීසි-ලන්දේසි කාලේ හැදු බලකොටුවක් ඒ කියන්නේ වර්ෂ 1600 ගණන් වල.පැරණි බලන දුර්ගය,කොටුව පිහිටලා තියෙන්නේ මේ ලන්දේසි කොටුවට ටිකක් උඩරට රාජධානිය ඇතුලට වෙන්න. මොකද මෙතන අදටත් කැනීම් කටයුතු කරලා නෑ (දුර්ගය තිබෙන ස්ථානයේ- අවාසනාවට මන් ලග චායරුපයකුත් නෑ ) . උඩරට රාජදානියේ රජ කරපු 1වන විමලධර්මසුරිය /කොනප්පු බණ්ඩාර රජතුමා ක්‍රි.ව.1592 දී තමා මුලින්ම මේ කොටුව හදන්නේ.
හැබැයි මහාවංශයේ සදහන් වෙන විදියටනම් අනුරාධපුර යුගයේ පවා උඩරට අනු රාජ්‍යයක් හැටියට පැවතිලා තියනවා.ඒ සෙල්ලිපි සහ ජනප්‍රවාදවල සදහන් වෙන ආකාරයට ඈපාවරුන් මාපා වරුන් ලක්දිව දකුණු දෙසට වන්නට උප රජවරුන් ලෙස රාජකීය ඔටුන්න යටතේ පාලනය වූ බව සදහන් වෙනවා. ඒ වගේම පුරාවිදු පර්යේෂණ යටතේ අනුරාධපුර,පොළොන්නරු යුග වලට අයත් වෙන මුල්‍යමය හුවමාරු ක්‍රම තිබුනා කියලා මේ අවට ප්‍රදේශ වලින් සොයාගෙනත් තියනවා.ඒකට හේතු සාදකයක් හැටියට අනුරාධපුර යුගේදී භාවිතවුණු මස්ස ,අඩමස්ස කාසි ද , පොළොන්නරු යුගයේ මහා විජයබා රජුගේ දඹ රන් කාසිද, විහාර වංශය,තුපවංශය යන පැරණි කෘතින්ද මනා උදාහරණ වෙනවා.
තවද මහාවංශයේ සදහන් වන විදියට හා අතීත ජනප්‍රවාද වල සදහන් විදියට බලන,ගලගෙදර ,හසලක ආදී ප්‍රදේශ වල කඩවත් ගම (එනම් රාජ්‍ය සිමා හරහා ඇතුල් වන විට බදු මුදල් එකතු කල ස්ථාන පිහිටා තිබෙනවා.)
කඩුගන්නාව යන නම පටබැදීමට පෙර මෙම ප්‍රදේශයට "කඩවත්ගම" ලෙස හදුන්වා තියෙනවා. එයට සාක්ෂි අදටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටලා තියනවා. උදාරණ විදියට අදටත් පිහිටලා තියන කඩවත්ගම කොස්ගස.කඩවත්ගම රජපිහිල්ල දැනටත් කඩුගන්නාව ප්‍රදේශයේ ඔබලාට නැරබිය හැකි පුරාවිදු ස්ථාන.
හරි ඔන්න ඔහොම අනුරාධපුර,පොළොන්නරු,දඹදෙණි.යාපහු රාජධානි පහුකරගෙන මම එනවා එහෙනම් ඔන්න මහනුවරට, ඒ කියන්නේ මගේ වාසභුමියට/උඩරට රාජධානියට එකෙනුත් දෙනුවරට(පොඩි පුරාජේරුවක් කියන්නම් මගේ පරම්පරා දෙක ඉන්නෙත් මෙන්න මේකේ තමා ). ඒ කතාව එහෙම තියලා අපි මහනුවර යුගේ මෙතැන් ඉතිහාසේ කියමුකෝ .කතාව පටන්ගන්නේ 1 වෙනි විමලදර්මසුරිය රජතුමාගෙන්.මම කිව්වනේ මේක හැදුවේ කොයි කාලේද කියලා,මේක හදන්න භාරදුන්නේ රජතුමා යටතේ අමුනුපුර කියන අධිකාරිට එතන අක්කර 5ක භුමිබාගයක් පුරාවට මේ කොටුව පැතිරිලා තිබුන කියලා සාධක අදටත් ඉතිරිව ලේඛනගතව තියනවා.හොදම හරිය එක නෙවේ,අක්කර 5ක බලකොටුවේ ඇතුල්වෙන්න තිබිලා තියෙන්නේ එක දොරයි. සෙබළු 10000ක් විතර ඉන්න පුලුවන්. මේ කතා සියල්ලම ඇත්ත කියලා අදටත් ඒ ප්‍රදේශයේ ඉන්න පරම්පරා දෙකෙන් කියන්න පුළුවන්.( අමුණුපුර පරම්පරාව,රණසිංහ පරම්පරාව).
මෙතන කොටුවක් හදන්න සුදුසුම පරිසරය එක පැත්තකින් පල්ලම අනික් දෙපැත්ත කදු යුගලකින් වටවෙලා එක පැත්තක් මහනුවර සානුව. වටේම බැලුවම අම්බුලුවාව පැත්තේ ඉදන් සාමසර කන්ද බතලේගල දෙවනගල ,අලගල්ල නෙල්ලිගල මුන්දගිරිය වටේම පේනවා.සතුරු ආක්‍රමණයක් කොහෙන් ආවත් දුර තියා පණිවිඩ හුවමාරුකරන්න පුළුවන් .
බතලේගල |
ඉහිහාස කතා ප්‍රධාන වශයෙන් තුනක් මේ ආශ්‍රිතව කියවෙනවා එකක් තමයි ,
1.පලවෙනි විමලධර්මසුරිය රජතුමා වර්ෂ 1597 දී දන්තුරේ පෘතිගීසි බල ඇණිය අතර සටන
2.සෙම්බගප්පෙරුමාල් හෙවත් අම්බුලුගල කුමාරයා යටතේ කිරිබත්කුබුරේදී ඇතිවූ සටන(රාජසිංහ රජු යටතේ සිදුවවක් කියාද සදහන් වෙනවා)
3.දෙවෙනි රාජසිංහ ( යුද්ධෙට උපන් කුමරා ) ගන්නොරුවේදී ඇතිවූ සටන
මේ කියන සටන් තුනේදීම සතුරාව පරාජය කරේ මෙන්න මේ බලන කොටුව මුල්කරගත් සටන් ක්‍රම නිසාවෙන් තමයි.
කොහොමෙන් කොහොමෙන් හරි මේ බලන කොටුවේ ඇතිවෙච්ච සටන් එක්ක "කඩවත් ගම"
පසු කාලෙක "කඩුගත්ගම" වෙලා ඒක "කඩු ගල්ගෑව ,කඩුගන්නාව" කියලා නම පටබැදුනා කියලා ජනප්‍රවාදයේ සටහන් වෙනවා.
හරි මම එන්නේ කොහොමද කියන්නම්කො ,
1. පලවෙනි සහ ලේසිම පාර තමා කඩුගන්නාවට එන එක.ඔයාලට ඕනිනම් බස් එක ,දුම්රිය කියන ප්‍රවාහන ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්.ලේසිම ලස්සනම ගමන තමයි දුම්රිය .එකෙන් කඩුගන්නාවට ඇවිල්ල එතන ඉදන් බලන බස් එකේ යන්න තියන්නේ හරිම ලේසියෙන් මෙතනට ලගාවෙන්න පුළුවන් .
2.දෙවෙනි පාර තමයි දුම්රියෙන් ඇවිල්ල බලන දුම්රිය ස්ථානයෙන් බැහැලා එතන ඉදන් බලන පාර දිගේ ඇවිදගෙන එන එක එක ටිකක් දුරයි.පොඩි කලේ පාරකුත් තියනවා පයින් එන්න තියනවා හැබැයි.
බලන කොටුවට කතාකරන්න පුළුවන් නම් කොච්චරක් දේවල්නම් කියයිද ??
අපේ සිංහලයින් කොච්චර මෙතන සටන් කරාද ,කොච්චර රජවරු ගොඩක් මෙතනට ආව ගියාද ,ඒ සේරම කරේ සිංහලයේ අන්තිම රාජදානිය බේරගන්න කියලා.අපේ රට,අපේ සංස්කෘතිය බේරගන්න කියලා...
අලගල්ල |
ඉතින් මේ තමයි අපේ උරුමය,අපේ ඉතිහාසය ලියවෙලා තියන,අපේ ලේ වගිරිලා තියන අනාගත පරම්පරාවටත් කියලාදෙන්න තියන ,පෙන්නන්න තියන තැන්.මේවා රැකගන්න එක අපේ වගකීමක් මෙන්ම ඔබෙත් වගකීමක්.
ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....
#...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #
ඔබට සුබගමන් !!!!