Friday, October 30, 2020

චැරියට් පාත්- Chariot Path ( රාවනා රජුන් සීතා කැටුව දඩුමොනරයෙන් ආ තැන )

                                           යාළුවනේ ඔන්න අද කියන්න යන්නේ හරිම සුන්දර ... පාරිසරිකව ඉතාමත් වැදගත්කමක් තියෙන ..කදුනගින්නන්ගේ හීනයක් ගැන ..


ඒ වගේම මේකේ හරි ලස්සන කාරනා කිහිපයක් කියන්න තියනවා. ලංකාවේ හරිම සිමිත කදු කිහිපයක් තියෙන්නේ සිරිපාදේ නොඉද සිරිපාදෙට ඉරසේවය වෙන හැටි බලන්න.ඒවගෙනුත් පතන කියන සංකල්පයෙන් සිරිපා ඉරසේවය බලන්න පුළුවන් එකම තැන තමයි මම මේ කියන්න යන ස්ථානය .. නමින් " චැරියට් පාත් - Chariot Path (රාවනා සීතා කුමාරිට ලස්සන පෙන්නපු තොටුපොල ) " .එහෙනම් ඔන්න වෙනදා වගේම මම ගමන ගැන කියන්න පටන්ගන්නවා .













                    ඔයාලට වැඩි දුර විස්තර දැනගන්න ඔන්න මම 2016 දී කරපු documentary එකත්( https://www.youtube.com/watch?v=ENAVJ_nrBr8 ) මෙතනම සදහන් කරලා තියනවා.

 අවාසනාවකට මේ සංවේදී පරිසර කලාපය අද වෙනකොට සංචනරණයට තහනම් කලාපයක් විදියට නම් කරලා තියනවා නුසුදුස්සන්ගේ සංචරණය නිසා.

හරි ඔන්න වෙනදා වගේම අපේ සෙට් එකට ක්ෂණික පණිවිඩයක් දීලා මෙන්න මෙහෙම ගමනක් යනවා කියලා කියුව පයින්ම ,කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල විභාග වලින් වේලිලා හිටපු අපේ සෙට් එක වැඩේට කැමති උනා.කොහොමෙන් කොහොමෙන් හරි ගමනට වෙනදා වගේම අපේ සෙට් එකේ උන්ගෙන් හරිතයයි ,මලියයි ,බුද්ධියයි සෙට් උනා ඒත් එක්ක අලුත් මූණු දෙකකුත් අපෙත් එක්ක සෙට් උනා ,උන් දෙන්නා තමයි ඉසුරුයි ,සජ්ජයි. 2016 මාර්තු 25 ඔන්න උදේ පාන්දරම සෙට් එකට බොරු වෙලාවක් කියලා වෙලාවට නුවරට ගෙන්නගත්තා.ගෙදරට හොරෙන් ගිහින් කලින් ගමනේ චුට්ටක් නාන්න උන හින්දා මේ පාර ගියේ වැඩේට සෙට් වෙලා ගෙවල් වලට කියලා. කොහොම හරි උදේ 10 වගේ වෙනකොට යාන්තන් පුස්සැල්ලාව ටවුමට ගොඩ වැදුනා වෙනදා වගේම එක එකාගේ රස කතා අහන ගමන්. එතන ඉදන් පෙරේට්ටසි බස් එකේ පැයක විතර ගමනකින් අපි 12 වෙද්දී ආව අපේ ගමන් පටන්ගන්න තැනට. එතනින්  එහාට අපිට පැය 4ක විතර කාලයක් ගතවුනා ගමනට ,ඉසුරුවාට සන්නිය හැදුනෙත් මේකෙදි තමයි .

ඔයාල යනවනම් යන්න හොදම කාලේ තමයි දෙසැම්බර් - පෙබරවාරි මාස .. අනික් එවාගේනම් වැස්ස.. (මේ පතනෙම තව ලස්සන ගමනක් තියනවා එක ලගදීම තව පොස්ට් එකකින් දෙන්නම් ඔයාලට ) 




හරි එහෙනම් අපි දැන් යමු මුහුදුමට්ටමේ ඉදන් මීටර 2200න උඩ කතාවට,

1.නමින් " චැරියට් පාත් - Chariot Path ",  මුහුදුමට්ටමේ ඉදන් 2000-2200m අතර තමයි පිහිටලා තිය්නෙන්නේ.

2. ඒ වගේම පිදුරුතලාගල රක්ෂිතයේ එක අන්තයක්.මහවැලි කුමාරිට දියවර සපයන ජල උල්පත් පිරුන සොබාදහම් මෑණියන්ගේ දිව්‍යලෝකයක්.ගැරඩි,රම්බොඩ,දෙවතුරා ඇල්ලේ වගේම මහවැලි යෝජනා ක්‍රමයේ කොත්මලේ ජලාශයේ ජාල පෝෂක ප්‍රදේශයක්.

3.තව තියනවා frotoft තේ වත්තේ මායිම වෙන්නෙත් මේ තෙත් පතන පිහිටි කදු වටියමයි.අවුරුද්දේ වැඩි කාලයක් වර්ෂාව ලැබෙන ප්‍රදේශයක් වගේම ලනකාවේ උසම කදු මුදුන් විශාල ප්‍රදේශයක් බලාගන්න පුළුවන් තෙත් පතන කලාපයක් කිවුවොත් නිවැරදි ,දන්නා තරමින් පිදුරුතලාගලට දවස් 3කින් ලගාවෙන්න පුළුවන් හැකියාවකුත් තියනවාලු. 

4.කදු මුදුනට /පතනට  ආවම ඔයාලට එක පැත්තකින් රිකිල්ලගස්කඩ ,හගුරන්කෙත ,වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ ජලාශ වගේම කොත්මලා ජලාශයත් බලන්න පුළුවන්.ඒ වගේම කුකුලාගල,පිදුරුතලාගල ,කිකිලියාමන ,මොනරකන්ද දොළොස්බාගේ ,අලගල්ල,සිරිපාදේ කදු බොහොමයක් ,ග්‍රේට් වෙස්ටර්න්  වගේ කදු බොහොමයක් දැක බලාගන්න පුළුවන් . තවත් කියනවනම් තෙත් පතන කලාපයේ තියෙන ශාක ප්‍රජාව ,ජේව විවිදත්වය හරිම ලස්සනට බලාගන්න පුළුවන් තැනක් තමයි චැරියට් පාත්  කියන්නේ. 

  

වැඩි කතා නැතුව එහෙනම් ඔයාලාට මෙහෙට එන විදිය කියන්නම් .

 ප්‍රදාන පාරවල් දෙකක් තියනවා.( මතක තියාගෙන එන්න මුළු ගමනට පැය අවම 2-3 අතර කාලයක් ගතවෙනවා , යන කෙනාගේ fitness එක්ක තමයි මේක තීරණය වෙන්නේ ) .වෙනදා වගේම මගේ ගමනාරම්භය මහනුවර නගරය  ඔන්න එහෙනම් ඔයාලත් යන්න.


1. මහනුවර - පුස්සැල්ලාව ( 35km ) , පුස්සැල්ලාව - ෆ්රෝටෝෆ්ට් වතු යාය ( 27km )

 මේක තමයි ලේසිම ගමන ෆ්රෝටෝෆ්ට් යන්න පා තුනකින් වගේ පුළුවන් නුවර ඉදන්ම, දැන් දන්නා තරමින් ෆ්රෝටෝෆ්ට් වලට බස් එකක් තියන්නේ උදේ 10 - හවස 4 වෙනකන් ඒ හින්ද ඒ ගැන පුස්සල්ලවෙන් අහගෙන යන්න වෙන්නේ.පුස්සල්ලාවටනම්  මහනුවර-නුවරඑළිය බස් එකක යන්න පුළුවන්. වැඩිදුර දැනගන්න මෙන්න map එක ( උඩ video එකෙත් විස්තරේ තියනවා )




2. මහනුවර - හේවාහැට - මූල්ඔය( 48km ) 

වාහන අඩු පාරක් ,ඒ උනාට පරිසර කලාප දෙකක සුන්දර අත්දැකීමක් ලබාගන්න පුළුවන් පාරක්.පුද්ගලික වාහනෙකින් යනවනම් සුදුසු පාරක්.  

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....රැකගන්න ....





 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Thursday, June 4, 2020

සුද්දාගේ යකඩ යකාට බිලිවුණ මුල් උස ස්ථාන අතර හිටිය දියකිදුරි - මීයන් ඇල්ල

සුද්දාගේ යකඩ යකාට බිලිවුණ මුල් උස ස්ථාන අතර හිටිය දියකිදුරි - මීයන් ඇල්ල  

     " සුද්දගේ යකඩ යකු අලගලු වෙත ඇදුනා -  සුන්දර දිය කිදුරි මීයන් මිය ඇදුනා "

ඔය කවි පදය පැරණි මාකෙහෙල්වල ගම්වාසින් අතර යම්තාක් දුරකට ප්‍රසිද්ධයි කියලා අලගල්ල පැත්තේ නෑදෑ කෙනෙක් කියලා තියනවා. මට එක හින්දා ඇත්තටම මේ මොකක්ද කියලා හොයලා බලන්න හිතුනා  .... එහෙනම් අහගන්නකෝ කතාව.මේක පරිසරවෙදින්ටනම් හිතට දුකක් ,ඇසට කදුලක් ගෙන එකක් වෙයි අනිවාර්යයෙන්ම.

හොදයි යාලුවනේ අද මම කියන්නේ යන්නේ අප්‍රකට ඒ වගේම වසරේ කාලයකට පමණක් මේ වෙනකොට සක්‍රියවෙන අපිට සුද්දා අහිමි කරපු ස්වාභාවදර්මයේ දායාදයක් ගැන. මේක දිය ඇල්ලක්. මම කලින් පොස්ට් වලත් කියලා තියනවා.ලංකාව කියන්නේ දියඇලි නිර්මාණයේ දේවත්වයෙන් සැලකෙන රටක් කියලා. ඒ ලංකාවේ භූගෝලීය පිහිටීම(බහුවිධ කුට්ටි කුටික්ෂිප්තය - k.කුලරත්නම් ). 

නමින් නම් අලගල්ලේ කොටහක් වෙන මීයන්ගොල්ල කන්දෙන් වැටෙන " මීයන් ඇල්ල " . වර්තමාන උසනම් 34m ක්. හැබැයි මේකේ ඉතිහාස කතාව ගත්තොත් ඇත්තටම මේක තට්ටු දෙකකට කැඩෙනවා වගේ පෙනුනත් එහෙම නෑ ,එකම බෑවුමේ නැම්මකින් හැරෙනවා එක හින්දා මේක තට්ටු දිය ඇල්ලක් කියලා හුගදෙනෙක් කියුවත් මම ඇතුළුව එහෙ පරම්පරා ගම්වාසින් නම් එක පිළිගන්නේ නෑ. තව එකක් සුද්දා මේක විනාස කරන්න කලින් තමයි මේකේ ඇත්තම සුන්දරත්වය තිබිලා තියන්නේ, එකියන්නේ නියම උස , මේකේ නියම උස තමයි 100- 120 m කියන අගය. මම එහෙම කියන්න හේතුවක් තියනවා. මොකද මාකෙහෙල්වල වයසක පරම්පරාවේ කෙනෙක් කියුව විදියට " පුතා ඕක රේල්පාරෙන් පහල කෑල්ල වගේ තුන් හතර ගුණයක්  වගේ උසයිලු ඉස්සර,වහින කාලෙට ගමට හොදටම ඒ උස පේනවා. " කතාව හරිවගේ, උඩට යන්න පුලුවන් "සඟරාජ හාමුදුරුවොගේ කුටිය" පැත්තෙනුත්. ඒ ගියාම තේරෙනවා පෙන්නේ නැති උඩට තව කෑල්ලකුත් තියනවා කියලා .


මීයන් ඇල්ලේ ඉතිහාසය  

හරි මම එහෙනම් කතාව පටන්ගන්නම් මෙහෙම,

 තේ ... කියුව ගමන් මතක් වෙන්නේ කොහෙද? හැටන් ,නුවරඑළිය , රම්බෝඩින් උඩට සීත කදුකරය එහෙමත් නැත්තන් වත්තේගම පැත්තෙන් හුන්නස්ගිරිය නකල්ස් පැත්ත. මෙන්න මෙහෙම උඩරට සරුසාරේට තේ හැදෙන්න ගත්ත ගමන් සුදු මහත්තුරුන්ට 18 වන සියවසේදී ඕනේ උනා මේවා ඉක්මනින් කොළඹට ගෙන්න ක්‍රමයක්.එකට සුදු මහත්තුරුන්ගේ අන්ඩුකාරයෙක් වෙච්චි ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ( ක්‍රි.ව. 1824) අදහසක් ගෙනාවා කොළඹ ඉදන් නුවරට රේල්ලුවක් හදන්න .කොහොම උනත් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පිළිබද විදිමත් වැඩපිළිවෙලක් පටන්ගන්නේ  1845 දී ශ්‍රීමත් කොලින් කැමල් කියන ආණ්ඩුකාරවරයාගේ කාලේ.ඔන්න ඔහොම වැඩ පටන්ගන්න දුම්රිය මාර්ගය වසර 20ක් කාලයක් ගෙවලා 1870 දී වැඩ නිමකරනවා ..

ඔන්න එහෙනම් මීයන් ඇල්ලේ කතාව සම්බන්ද වෙන්නේ මෙහෙමයි.මෙහෙම දුම්රිය මාර්ගය හදාගෙන එද්දී ඉහලකොට්ටේ(මුහුදු මට්ටමින් 322m ) හරියට අවා .ඒ 1867 දී , කන්ද හාරන්නත් බෑ හුගක් දුරට ගලවිදින්න වෙනවා. එළියෙන් යන්න බෑ හරි උස දිය ඇල්ලක් හරහා යන්න තියනවා ...කොහොම හරි අන්තිමට කළුගලේ එළියෙන් බෝර දාන්න තීරණය වෙනවා . එකට කලින් දිය ඇල්ලෙන් එන වතුර ටික වෙන පැත්තකට හරවන්න ඕනේ වෙනවා .. හැබැයි හරවන්න පැත්තක් නෑ .මේ හින්දා දිය ඇල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඊට පස්සේ තමයි මේ රේල්ලුව ඉහලකොට්ටේට නිර්මානයවෙලා ඉවරවෙන්නේ රොබින්සන් කියන ආණ්ඩුකාරයාගේ කාලේදී. මෙන්න මේ සිදුවෙච්ච බෙදීම හින්දා අපිට හිමිවෙලා තිබ්බ හරිම අලංකාර උස මට්ටම් වල මුල් ස්ථානයේ වැජබුන මීයන් ඇල්ල අපිට අහිමි වෙලා යනවා.  

කොහොම නමුත් දිය ඇල්ලක් හරවලා ජයගන්න බෑ කියනවනේ,අලගල්ල රක්ෂිත ප්‍රදේශයක් ඒ වගේම උඩරට බටහිර බෑවුම වර්ෂාව අඩුවක් නැතුව ලැබෙනවා මේ හින්දා රේල්ලුව හදන හදන සැරේට වතුර පාරේ සැරට කඩාගෙන යනවා .. ඒ වගේම වර්ෂ කාලෙට රේල්පාරටත් වතුර ඇවිල්ලා අබලන් වෙනවා..

1890 ගණන් වල මහනුවරට ආව තෙල් කෝච්චියක් පෙරලීමක් ගැනත් සිද්දියක් මෙම ස්ථානයෙන් වාර්තා වෙනවා.කොහොම නමුත් 1902 දී හෙන්රි ආතර් බ්ලේක් කියන ආණ්ඩුකාර මහත්තයා රේල්ලුවෙන් නුවර එන ගමනකදී අනතුරකට භාජනය වෙනවා ඔන්න ඔය ප්‍රශ්නයි,වර්ශාකලේට රේල්ලුවෙන් තේ ටික කොළඹට ගෙනියන අපහසුවයි හින්දා 1905 දී ලංකාවේ දෙවෙනියට දිගම බින්ගෙයවෙන මීයන්ගොල්ල බිංගේ (දිග මීටර 420 )නිර්මාණය වෙනවා. 

මේ බිංගෙය නිර්මාණය කරනවාත් සමගම මියන් ඇල්ල ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ඒ වගේම ඉහලින් තිබෙන නුසුදුසු බෙදීම නිසා 100m පමණ දිගකට ඇල්ලේ වතුර පරණ දුම්රිය ගමන් මාර්ගයේ තැනින් තැනට වැටෙනවා.තවත් විශේෂ දෙයක් බිංගෙය හරනකොට කන්ද ඇතුලෙන් එලියට පස් ගල් දාන්න හාරපු ලොකු ගුලක් තියනවා මේක මීටර් 5ක් 6 ක් දිගයි වගේම ඇතුලෙන් දිය ඇල්ලේ පිටිපස්සහට එන්නත් පුළුවන්. හැබැයි මේකේ තියන ඇත්තම කතාව ගත්තොත් ඊට වැඩ වෙනස් .. හේතු දෙකක් තියෙන්නේ ..

1. බිංගෙයක ඇතුලේ රස්නෙයි වගේම වාතය අඩුයි . මේ කුහරයෙන් කරන්නේ දිය ඇල්ලෙන් එන ජලවාෂ්ප ඇතුලට යවන ගමන් බින්ගේ ඇතුලත උෂ්ණත්වය අඩු කිරීම.
2. ඒ වගේම හොද වාත ප්‍රවාහයක්  බින්ගේය ඇතුලේ තියාගන්න එකයි දෙදරුම නිසා ඇතිවෙන කම්පන සංඛ්‍යාත පාලයයි .

අන්තිමට සිද්ද වෙන්නේ " ගහපු පදෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ " වැඩක් ,අපේ දිය ඇලි පොතේ මුල් 20 වගේ ඇතුලට එන්න තිබ්බ " මීයන් ඇල්ල" අපිට අහිමිවෙනවා.

අද මීයන් ඇල්ලේ  තත්වය 

මේ වෙනකොට අලගල්ල රක්ෂිත තත්වයට පත්වෙලා .කොහොම නමුත් ජනාවාසකරණය හේතුවෙන් ගස් කෝලන් අඩුවෙලා ජාල මුලාශ්‍ර සිදී යාම නිසා මීයන් ඇල්ල Seasonal waterfalls ගණයට වැටිලා තියනවා .
මොනවා උනත් දුම්රිය මාර්ගයෙන් සෙතක් වෙන්න ඇති ,ඒ වගේම හුග දෙනෙක් දන්නේ නැති මේ වගේ සොබාදහම් හානි වෙන්නත් ඇති .. අනේ අදටත් තිබ්බනම් ...කොච්චර ලස්සනට හරි උසට කොච්චර වටිනාකමක් එක්වෙයිද ඉහලකෝට්ටේ මීයන් ඇල්ලට ...


යන්න කැමති අයට මම පාර කියන්නම් ,අරවල් දෙකක් තියනවා 

1. ඉහලකොට්ටේ station එකට එන්න පුළුවන් අලගල්ලෙන් වගේම කඩුගන්නාවෙන් station එකේ ඉදන් විනාඩි 10ක දුරක් තියෙන්නේ.

2.මාවනැල්ලෙන් එන කෙනෙක්ටනම් මාකෙහෙල්වලින් hike එකක් කරගන්නත් පුළුවන් වතුර පාර දිගේ උඩට ,නැත්තන් ඒ පාර දිගේම ඉහලකොට්ටේ දුම්රිය අතානයට ඇවිල්ල බිංගේ පැත්තට විනාඩි 10යි . 


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....රැකගන්න ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Thursday, May 14, 2020

කුලසිංහ මොරගහකන්ද ජලාශය (මහවැලි යෝජනා)

මේක අම්මලා එක්ක අනුරාධපුරේ යනකොට ගිය ගමනක්.මෑත යුගයේ ඉදිවූ විශාලතම වාරි ව්‍යාපෘතිය තමයි මේක.

මාතලේ දිස්ත්‍රික්කය මුල්කරගනිමින් නිර්මාණයවූ අඩි 213ක් උස  Gravity Dam එකක් ජල ධාරිතාව ඝන මීටර මිලියන 500ක් සහිත "කුලසිංහ ජලාශය හෙවත්,මොරගහකන්ද ජලාශය 2018 වර්ෂයේ ජනතාසන්තක" වන ලදී.


මිනිපේ වම් ඉවුරෙන්ද අඹන් ගගෙන්ද /කළුගගෙන්ද පෝෂණය වන මෙම ජලාශය ඉදිවුයේ 2007 වසරේ ආරම්බ කරනලද  කලුගග - මොරගහකන්ද ව්‍යාපෘති යෝජනා ක්‍රමය යටතේය. මෙය මහවැලි යෝජනා ක්‍රමයේ අවසාන ව්‍යාපෘතියද වේ . 1968 දී ආරම්භ වූ මහවැලි ව්‍යාපෘතියේ C කොටසට අයත් මෙමගින් කෘෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලි උත්පාදනයටද මහගු කර්තව්‍යයක් සිදුවේ(18 MW විදුලි ජනනයක් සිදුකරයි ). තවද  කලුගග ජලාශය සමග 10km පමණ වන උමන් ජල මාර්ගයකින් මෙම ජලාශය සම්බන්දවෙලා පවතිනවා. 

ඔයාලා හැමෝටම නාඋලින් හැරිලා ඇළහැර හෙට්ටිපොල පාරේ ගියාම මේ වටිනා කියන නිර්මාණය බලාගන්න පුළුවන් ..


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Monday, May 4, 2020

උඩරට රාජධානියේ කඩුගන්නාවේ වතගොත - 02 ( කැප්ටන් ඩෝසන් කුළුන )

මේක මගේ කලින් කතාවට සම්බන්දයි ...එක කියවාගෙන එන්න ඕනිනම් (https://isuruflicker.blogspot.com/2020/04/01.html)

හරි ඔන්න ඔහොම බලන කොටුව එහෙමත් බලාගෙන අපි ටික ඉතින් පල්ලම් බැස්ස කඩුගන්නාවට, කඩුගන්නාව නගරයට බැහැපුවාම අපිට පේනවා සුදු පාටට උසට උසේ තියන කුළුණක් . හරියට ප්‍රදීපාගාර ක්‍රමේට හදපු එකක් වගේ ... අන්න ඒකට තමයි කියන්නේ ..

කැප්ටන් ඩෝසන් කුළුන 

මොකද්ද මේ ඩෝසන් කුළුන කියන්නේ,එකත් හරිම රස කතාවක් .කොහොමෙන් කොහොම හරි සිංහලේ අන්තිම රජතුමා වෙච්චි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සේ රට බාර ගන්නේ නායක්කර් වංශිකයෝනේ (ශ්‍රී විජය රාජසිංහ, කිර්ති ශ්‍රී රාජසිංහ ,රාජාධි රාජසිංහ ,ශ්‍රී වික්‍රම රාජසිංහ )

. ඉතින් රොබට් බ්‍රවුන්රිග් කියන ඉංග්‍රීසි පාලකයාගේ කාලේදී ,ඒ කියන්නේ ක්‍රි.ව.1815 දී අපේ රදළ පැලැන්තියේ කට්ටිය මද මහනුවරදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ලලා දෙනවත් එක්කම මෙච්චරකල් සිහලයින්ට කියලා තිබ්බ උඩරට රාජධානියයි ,මුළු මහත් ලංකාවයි ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වෙනවා.
උපුටගනිමක් 

ඔන්න ඔය කාලේ මුළු රටේම පාලන බලය තියාගන්න කැරලි මර්ධනය කරන්න සේනා යවන්න ඕනේ වෙනවා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයට, මොකද ඒ කාලේ දැන් වගේ නෙවෙයි අවුරුද්දෙන් බාගයක්ම වැස්ස ,වසංගත පැතිරෙනවා.ගංගා උතුරනවා නිතර සබදතාවයන් තියාගන්න බැරිවෙනවා.මේ හින්දා ආණ්ඩුකාරවරයා මහනුවරට මාර්ගයක් හදන්න භාරදුන්නේ කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් කියන ඉන්ජිනේරුතුමාට ඒ 1818 දී . මෙතුමා භුමිය පරික්ශාකරලා වැඩේ පටන් ගන්නවා 1820 දී ,ඒ කියන්නේ ශ්‍රීමත් එඩ්වඩ් පැජට් කියන ආණ්ඩුකාරවරයාගේ කාලේදී.ඉතින් මෙහෙම පටන් ගත්ත වැඩේ කැළණි ගං මිටියාවත ,මා ඔය මිටියාවත ඔස්සේ වසර 10ක් පුරාවට ,ඒ කියන්නේ "රොබට් බ්‍රවුන්රිග් ,ශ්‍රීමත් එඩ්වඩ් පැජට් ,ශ්‍රීමත් ජේම්ස් කැමල් , ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් " කියන ආණ්ඩුකාරවරුන්ගේ ධූරකාල තුල ඉදිවෙනවා.
මහනුවර බලා 

කොහොමෙන් කොහොම හරි මේ පාර හදගෙන එද්දී , 1829 මාර්තු 29   ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් (කදුකර අලින් මුලින් උපුටා දැමු ආණ්ඩුකාරවරයා ) කියන ආණ්ඩුකාරවරගේ කාලේ ඩෝසන් ඉංජිනේරු මහත්තයා මිය යනවා .ජනප්‍රවාද තොරතුරු අනුව සමහරෙක් කියන්නේ වසංගතයක් පැතිරිලා එකෙන් ලෙඩ වෙලා මරුන කියලා.තවත් සමහරෙක් කියන විදියට සර්පයෙක් දෂ්ට කරලා මැරුණා කියනවා.කොහොම නමුත් මහනුවරට සැතපුම් 8ක් පමණ ඉතිරිවෙලා තියෙද්දී මේ ව්‍යසනය වෙලා තියනවා. වසර 1832 දී මේ මාර්ගය නිමවුමේ උපහාරය පුදන්ට ශ්‍රීමත් රොබට් විල්මට් හෝටන් (හෝටන්තැන්න අහලා ඇතිනේ,ඒ මෙයාගේ නමින් නම් කරේ ) ආණ්ඩුකාරවරයාගේ මුලිකත්වයෙන් මෙනන් මේ කුලුන කඩුගන්නව මුදුනේ උඩරටටත් පහතරටටත් මුහුණලාගෙන හැදෙනවා .
උපුටාගැනීමක් 

ඔන්න ඕකයි කතාව මෙතනට ආවමනම් හරි අපුරුවට කඩුගන්නාව නගරය ,බතලේගල පහල කඩුගන්නා නිම්නය දෙවනගල සාමසර කන්ද එහෙමත් පේනවා .

මෙහෙ එන අයට එන්න හරිම ලේසි කෝච්චියෙන් ,බස් එකෙන් කොහොම අවත කදුගන්නවේදී බැස්සනම් ඉතින් ඩෝසන් ඉංජිනේරු මහත්තයාගේ සිහිවටනෙත් බලාගෙන යන්න පුලුවන්.

වෙනද වගේම ඉල්ලන තියන කරුණු කාරනා ගොඩක් තියනවා ..කුරුටු ගාන්න එපා.එක හරිම අශිෂ්ඨයි.

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....

දෙවනගල ,බතලේගල ,සාමසර කන්ද 



 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Tuesday, April 28, 2020

උඩරට රාජධානියේ කඩුගන්නාවේ වතගොත - 01 ( එතිහාසික බලන කොටුව)

හරි යාලුවනේ  කියන්න අද මම කියන්න යන්නේ වෙනස් විදියේ විස්තරයක් ..මොකද මේක කන්දක්,දිය ඇල්ලක් නෙවෙයි.  හරි ලේසියෙන් ඕනෙම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් වැදගත්කමක් තියන තැන් කිහිපයක්.

ඕනිම කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් ලගාවෙන්න පුළුවන් තැන ටිකක් තමයි කඩුගන්නාව නගරය කියන්නේ.අද මම කියන්නේ මේ කඩුගන්නාව නගරය අවට ඔයාලට බලාගන්න පුළුවන්. දවසක් ඇතුලත යන්න පුළුවන් නියම තැන ටිකක් ගැන.වෙනදා වගේම කොල්ලෝ ටික ඔන්න ඇවිදින්න යන්න එකතු උනා.අපේ අවාසනාවට යන්න හිටපු පැත්තට හොදටම වහින හින්දා වැඩේ අතඇරලා දාලා අපි ලග පාත යන්න තියන බලන්න තියන තැන ටිකකට යන්න සුදානම් උනා.. 
                                                                                      කොහොමෙන් කොහොමෙන් හරි අපි යන්න තීරණය කරගත්තේ මෙන්න මේ තැන හතරට.හුග දෙනෙක් හිටියෙත් නෑනේ (පානි,මම,අබේ,බට්ටා,පුරෝ හිටියේ ඕක යන්න )

1.බලන කොටුව 
2.ඩෝසන් කුලුන 
3.බැලුම්ගල 
4.මුණ්ඩගිරිය 

බලන කොටුව 

හාවෙන් හුවෙන් අපි ගමන පටන්ගත්තා .අපේ පලවෙනි ඉලක්කය උනේ බලන කොටුව බලාගන්න එක.ඉතින් අපි කඩුගන්නාව බස් හෝල්ට් එකෙන් බලන යන බස් එකට නැගගත්තා.විනාඩි 40ක් විතර ගමන් කාලයක් ගෙවලා අපි ආව හතර කොරලේට/දැන් යටිනුවරට අයිති "බලන කොටුව" තියන තැනට.

බලන කොටුවේ ඉතිහාසය ගැන කියනවනම් දැන් තියන කොටුව පෘතිගීසි-ලන්දේසි කාලේ හැදු බලකොටුවක් ඒ කියන්නේ වර්ෂ 1600 ගණන් වල.පැරණි බලන දුර්ගය,කොටුව පිහිටලා තියෙන්නේ මේ ලන්දේසි කොටුවට ටිකක් උඩරට රාජධානිය ඇතුලට වෙන්න. මොකද මෙතන අදටත් කැනීම් කටයුතු කරලා නෑ (දුර්ගය තිබෙන ස්ථානයේ- අවාසනාවට මන් ලග චායරුපයකුත් නෑ ) . උඩරට රාජදානියේ රජ කරපු 1වන විමලධර්මසුරිය /කොනප්පු බණ්ඩාර රජතුමා ක්‍රි.ව.1592 දී තමා මුලින්ම මේ කොටුව හදන්නේ. 

හැබැයි මහාවංශයේ සදහන් වෙන විදියටනම් අනුරාධපුර යුගයේ පවා උඩරට අනු රාජ්‍යයක් හැටියට පැවතිලා තියනවා.ඒ සෙල්ලිපි සහ ජනප්‍රවාදවල සදහන් වෙන ආකාරයට ඈපාවරුන් මාපා වරුන් ලක්දිව දකුණු දෙසට වන්නට උප රජවරුන් ලෙස රාජකීය ඔටුන්න යටතේ පාලනය වූ බව සදහන් වෙනවා. ඒ වගේම පුරාවිදු පර්යේෂණ යටතේ අනුරාධපුර,පොළොන්නරු යුග වලට අයත් වෙන මුල්‍යමය හුවමාරු ක්‍රම තිබුනා කියලා මේ අවට ප්‍රදේශ වලින් සොයාගෙනත් තියනවා.ඒකට හේතු සාදකයක් හැටියට අනුරාධපුර යුගේදී භාවිතවුණු මස්ස ,අඩමස්ස කාසි ද , පොළොන්නරු යුගයේ මහා විජයබා රජුගේ දඹ රන් කාසිද, විහාර වංශය,තුපවංශය යන පැරණි කෘතින්ද මනා උදාහරණ වෙනවා.

තවද මහාවංශයේ සදහන් වන විදියට හා අතීත ජනප්‍රවාද වල සදහන් විදියට බලන,ගලගෙදර ,හසලක ආදී ප්‍රදේශ වල කඩවත් ගම (එනම් රාජ්‍ය සිමා හරහා ඇතුල් වන විට බදු මුදල් එකතු කල ස්ථාන පිහිටා තිබෙනවා.)
කඩුගන්නාව යන නම පටබැදීමට පෙර මෙම ප්‍රදේශයට "කඩවත්ගම" ලෙස හදුන්වා තියෙනවා. එයට සාක්ෂි අදටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටලා තියනවා. උදාරණ විදියට අදටත් පිහිටලා තියන කඩවත්ගම කොස්ගස.කඩවත්ගම  රජපිහිල්ල දැනටත් කඩුගන්නාව ප්‍රදේශයේ ඔබලාට නැරබිය හැකි පුරාවිදු ස්ථාන.


හරි ඔන්න ඔහොම අනුරාධපුර,පොළොන්නරු,දඹදෙණි.යාපහු රාජධානි පහුකරගෙන මම එනවා එහෙනම් ඔන්න මහනුවරට, ඒ කියන්නේ මගේ වාසභුමියට/උඩරට රාජධානියට එකෙනුත් දෙනුවරට(පොඩි පුරාජේරුවක් කියන්නම් මගේ පරම්පරා දෙක ඉන්නෙත් මෙන්න මේකේ තමා ). ඒ කතාව එහෙම තියලා අපි මහනුවර යුගේ මෙතැන් ඉතිහාසේ කියමුකෝ .කතාව පටන්ගන්නේ 1 වෙනි විමලදර්මසුරිය රජතුමාගෙන්.මම කිව්වනේ මේක හැදුවේ කොයි කාලේද කියලා,මේක හදන්න භාරදුන්නේ රජතුමා යටතේ අමුනුපුර කියන අධිකාරිට එතන අක්කර 5ක භුමිබාගයක් පුරාවට මේ කොටුව පැතිරිලා තිබුන කියලා සාධක අදටත් ඉතිරිව ලේඛනගතව තියනවා.හොදම හරිය එක නෙවේ,අක්කර 5ක බලකොටුවේ ඇතුල්වෙන්න තිබිලා තියෙන්නේ එක දොරයි. සෙබළු 10000ක් විතර ඉන්න පුලුවන්. මේ කතා සියල්ලම ඇත්ත කියලා අදටත් ඒ ප්‍රදේශයේ ඉන්න පරම්පරා දෙකෙන් කියන්න පුළුවන්.( අමුණුපුර පරම්පරාව,රණසිංහ පරම්පරාව). 

මෙතන කොටුවක් හදන්න සුදුසුම පරිසරය එක පැත්තකින් පල්ලම අනික් දෙපැත්ත කදු යුගලකින් වටවෙලා එක පැත්තක් මහනුවර සානුව. වටේම බැලුවම අම්බුලුවාව පැත්තේ ඉදන් සාමසර කන්ද බතලේගල දෙවනගල ,අලගල්ල නෙල්ලිගල මුන්දගිරිය වටේම පේනවා.සතුරු ආක්‍රමණයක් කොහෙන් ආවත් දුර තියා පණිවිඩ හුවමාරුකරන්න පුළුවන් . 
බතලේගල 


ඉහිහාස කතා ප්‍රධාන වශයෙන් තුනක් මේ ආශ්‍රිතව කියවෙනවා එකක් තමයි ,

1.පලවෙනි විමලධර්මසුරිය රජතුමා වර්ෂ 1597 දී දන්තුරේ පෘතිගීසි බල ඇණිය අතර සටන 
2.සෙම්බගප්පෙරුමාල් හෙවත් අම්බුලුගල කුමාරයා යටතේ කිරිබත්කුබුරේදී ඇතිවූ සටන(රාජසිංහ රජු යටතේ සිදුවවක් කියාද සදහන් වෙනවා) 
3.දෙවෙනි රාජසිංහ ( යුද්ධෙට උපන් කුමරා ) ගන්නොරුවේදී ඇතිවූ සටන 

මේ කියන සටන් තුනේදීම සතුරාව පරාජය කරේ මෙන්න මේ බලන කොටුව මුල්කරගත් සටන් ක්‍රම නිසාවෙන් තමයි.

කොහොමෙන් කොහොමෙන් හරි මේ බලන කොටුවේ ඇතිවෙච්ච සටන් එක්ක "කඩවත් ගම"
 පසු කාලෙක "කඩුගත්ගම" වෙලා ඒක "කඩු ගල්ගෑව ,කඩුගන්නාව" කියලා නම පටබැදුනා කියලා ජනප්‍රවාදයේ සටහන් වෙනවා.

හරි මම එන්නේ කොහොමද කියන්නම්කො ,
1. පලවෙනි සහ ලේසිම පාර තමා කඩුගන්නාවට එන එක.ඔයාලට ඕනිනම් බස් එක ,දුම්රිය කියන ප්‍රවාහන ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්.ලේසිම ලස්සනම ගමන තමයි දුම්රිය .එකෙන් කඩුගන්නාවට ඇවිල්ල එතන ඉදන් බලන බස් එකේ යන්න තියන්නේ හරිම ලේසියෙන් මෙතනට ලගාවෙන්න පුළුවන් .

2.දෙවෙනි පාර තමයි දුම්රියෙන් ඇවිල්ල බලන දුම්රිය ස්ථානයෙන් බැහැලා එතන ඉදන් බලන පාර දිගේ ඇවිදගෙන එන එක එක ටිකක් දුරයි.පොඩි කලේ පාරකුත් තියනවා පයින් එන්න තියනවා හැබැයි. 

බලන කොටුවට කතාකරන්න පුළුවන් නම් කොච්චරක් දේවල්නම් කියයිද ??
අපේ සිංහලයින් කොච්චර මෙතන සටන් කරාද ,කොච්චර රජවරු ගොඩක් මෙතනට ආව ගියාද ,ඒ සේරම කරේ සිංහලයේ අන්තිම රාජදානිය බේරගන්න කියලා.අපේ රට,අපේ සංස්කෘතිය බේරගන්න කියලා...
අලගල්ල 


ඉතින් මේ තමයි අපේ උරුමය,අපේ ඉතිහාසය ලියවෙලා තියන,අපේ ලේ වගිරිලා තියන අනාගත පරම්පරාවටත් කියලාදෙන්න තියන ,පෙන්නන්න තියන තැන්.මේවා රැකගන්න එක අපේ වගකීමක් මෙන්ම ඔබෙත් වගකීමක්.

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....

                            #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

                                          ඔබට සුබගමන් !!!!


   

Sunday, April 5, 2020

සුන්දර හගුරන්කෙතේ කුකුලාගල/දියතලා කදුවැටිය...

                                               ඔන්න එහෙනම් යාලුුවනේ  අදත් මම ඔයාලාට යන්න හොද තැනක් ගැන කියන්න තමයි සුදානම් වෙන්නේ.නම් ගොඩක් තියනවා එකෙන් ප්‍රධානම නම් තමයි "කුකුළාගල ,හගුරන්කෙත කන්ද,දියතලා කන්ද (කුකුලේක්ගේ හැඩයක් තියනවා වගේ )" කියන්නේ. මහනුවර ඉන්න කෙනෙක්ටනම් දවසේ හරි ලේසි ගමනක්.
කදුමුදුන 

                                ඉතින් වෙනදා වගේම ඔන්න අපි වෙලාවට :p ගමන පිටත් වෙන්න මහනුවර ඔරලෝසුකනුව ළගට උදේ 6 වෙනකොට එකතු උනා .කියන්න අමතක උනානේ මම මේ ගමන යන්නේ අළුත්ම කාණ්ඩයක් එක්ක , හැබැයි එදා ඒ සෙට් උන යාළුකම අදටත් තියනවා.අදටත් අපි එකට ගමන්බිමන් යනවා... අන්නේකයි වැදගත්. :v .හරි වැඩි කතා ඕනේ නැ , ගමනට මත එක්ක තව තුන්දෙනෙක් ගියා.(මේ ගමනේදී තමයි මට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගපෙන්නනෙක් හම්බුනේ. එයාගේ ලග තියන පාරවල්.එය හොයාගත්ත පාරවල්,ඒ අයියා සිතියන් ගතකරපු පාරවල් ගියපු ගමන් පින්තුර නැතත් කතන්දර හැටියට මම අහගෙන හිටියේ නිකන් පොඩි අය කතන්දර අහන් ඉන්නවා වගේ ,නමින් ඔහු ස්ටීව් අයියා ) .ඉතින් මේකට සහබාගි උන අනික් යාලුවෝ දෙන්නා තමයි උදේශ , දර්ශන.

                                              ඔන්න ඉතින් කතාව මෙහෙමයි පටන්ගන්නේ ,අපේ මාර්ගෝපදේශක ස්ටීව් අයියත් එක්ක එකතුවුන අපි උදේ 6.30 වෙද්දී ගුඩ්ෂෙඩ් එකෙන් හගුරන්කෙත බස් එකට නැගගත්තා. වෙනදා වගේම රස කතායි අලුත් අයියාගේ විස්තරත් අහන ගමන් උදේ 7.45 වෙද්දී හගුරන්කෙත ඔරලෝසුකණුව ලගින් බැහැගත්තා.බැහැපු ගමන්ම වෙනදා වගේ අපිට සුපුරුදු තේ කඩෙන් ක්‍රීම් ක්‍රැකරුයි තව අඩුම කුඩුම ටිකක් අරගෙන අපේ ගමනාරම්භය තියන තැනට යන්න හංදියේ ත්‍රිවිල් පාක් එකේ අයියා කෙනෙක් කතාකරගත්තා.
                                                                       
රන්දෙණිගල ජලාශය 
 ඉතින් පැයක විතර කාලයක් ගෙවලා හගුරන්කෙත-අධිකාරිගම පාරෙන් ත්‍රිවිල් එකෙනුයි පයිනුයි ඇවිත් අපේ කදු නැගීම පටන්ගත්තා උදේ 9 වෙනකොට ,ඒ හරිම ලස්සන හෙල්මලූ ක්‍රමේට තිබ්බ හාලා ඉවර උන වෙල් යායක අවසානයේ තිබ්බ ෆයිනස් යායෙන්. ඉතිං ස්ටීව් අයියා ගිය trail ගැන විස්තර කතාකරගෙන අපි දවල් 1.30 වෙනකොට කුකුලාගල කදු පන්තියේ , දියතලා කන්ද මුදුනට නැගගත්තා. 
                                   

         දවල්ට සුපුරුදු පරිදි ගෙදරින් ගෙනාව බත් එකත් කාලා,කදු පන්තිය දිගේ කදුපන්තියේ මැදක තියන දිය උල්පතේ දියසිරාව දිගේ පහලට බහින්න පටන්ගත්තා..ඒ ගමන අපිට ටිකක් ලේසි උනේ අපි නැග්ගේ ටිකක් වියලි කාලගුණයක් තියෙද්දී ඒ හින්දා පොඩි දිය සීරාවක තමයි බහින්න උනේ.. කැලැවේ යටිරෝපනයක් නැති හින්දා මම ඇතුළු දර්ශන,උදේශ ලිස්සලා වටෙන එක අමතක කරේම නෑ . 
                                                                                       
           
ඒ වගේම තමා කුකුලාගල කැලේ මාදන්,කරෝලකබිල්ල.ඇඹුල්පේර වලින් නම් කිසිම අඩුවක් නෑ .ඒ හින්දම පහලට එන ගමන උඩට ගිය ගමන වගේ දුෂ්කර උනේ ණා .මොකද අපි පහලට බැස්සේ ලොකු කරෝලකැ  බිල්ලයි,ඇඹුල් පේරයි මල්ලක් පුරවාගෙන.හවස 4.15 වගේ වෙද්දී (පයින් ගිය මුළු ගමන සම්පුරණ දුර 9km වගේ ඇති ) මනුස්ස ජනාවාසේකට යාන්තමින් බැහැගත්ත අපි එතන ගෙදරක තිබ්බ ත්‍රිවිල් එකකින් රිකිල්ලගස්කඩ ටවුමට 5.30 වෙද්දී සේන්දු උනා..හරිම ලස්සන මතක ටිකක් එකතුකරගෙන හරිම පරිස්සමින් රෑ 8 වෙද්දී ගෙදරට ආවා.......ඔන්න ඕකයි කතාව :v  .    



                                                   හරි මම දැන් කන්ද ගැනයි,පිහිටීම ගැනයි,බලන්න පුළුවන් දේවල් ගැනයි ඇවිදින ඔයාලාට වැදගත් වෙන කරුණු ටිකක් කියන්නම්. නමින් කුකුලාගල කදුවැටිය (මධ්‍යම  පළාතේ ,මහනුවර දිස්ත්‍රික්කයේ ) එක අන්තයක තමයි පිහිටලා තියෙන්නේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව උසම ස්ථානය 1530m විදියට තමයි සටහන් වෙන්නේ. කන්දේ නැගෙනහිර පැත්තට වෙන්න වික්ටෝරියා ජලාශය/වේල්ල ,රන්දෙනිගල ජලාශය බලාගන්න පුළුවන් බස්නාහිරට වෙන්න ලුල්කදුර/කොන්ඩගල පිදුරුතලාගල කදු පන්තිය හගුරන්කෙත රිකිල්ලගස්කඩ බලාගන්න පුළුවන්.දකුණු පැත්තට වෙන්න මන්දර්ම්නුවර,පිතුරුතලාගල මුදුන බලන්නත් පුළුවන්..
පිදුරුතලාගල 

ඔන්න එහෙනම් මම දැන් යනවිදිය කියන්නයි යන්නේ. 

1. කලින් කිව්වා වගේ නුවර ඉදන් යන කෙනෙක්ට මුළු කදුපන්තියම එක දවසයි . හරි නුවරින් බස් තියනවා හැගුරන්කෙතට විනාඩි 30න් වගේ.අපි නම් පිටත් උනේ 6 පහුවෙලා .නුවර ඉදන් හැගුරන්කෙතට පැයක් වගේ තායි දැන් නම් යන්නේ.එතන ඉදන් අදිකාරිගම පාරේ මෙනන් මේ තැනට යන්න ඕනේ..ඔයාලට පුළුවන් නම් ත්‍රිවිල් එකක යන්න එක හරිම ලේසි. ඒ දවස්වල නම් රුපියල් 400යි. (ඔයාල එන්න ඕනේ උඩවත්ත කුබුරුයාය ඉවරවෙන තැනට.)



2.පටන්ගන්න තැන ඉදන් පැය 3 - 4 ක් වගේ යනකොට කදු මුදුනට යන්න පුළුවන්. මතක් කරලා කූඩෑල්ලන්ට ගන්න බෙහෙතක් අරගෙන යන්න,ඒ වගේම වතුර බෝතලයක් දෙකක් ගෙනියන්න අමතක කරන්නත් එපා. 
                                                                                       උඩවත්ත කුබුරු යයට  


අදිකාරිගම පාරෙන් ගිහින් බහින ස්ථානය 


3. අපි නම් ගියේ මෙන්න මේ බඩු ටිකේ උදව්වෙන් තමයි. (ලොකු ලොකු දේවල් තිබ්බේ නෑ ඒ කාලේ :P ).
මෙන්න මේ ලකුණු කරලා තියන පාරෙන් යන්න ලස්සන පින්තුර එකතුවක් වගේම හොද රස පලතුරුත් කන්න පුළුවන්. 


4.හවස 4.30 වගේ වෙද්දී බය නැතුව මනුස්ස වාසෙකට එන්න පුළුවන්.හැබැයි පොඩි මුදලක් වියදන් කරන්න වෙනවා ටවුමට එන්න විනාඩි 20කින් වගේ. රිකිල්ලගස්කඩ ඉදන් දැන් නම් රෑටත් බස් තියනවා 9 වෙනකන්.
දර්ශන, මම ,ස්ටීව් ,උදේශ 

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!